ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එදිනට මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇති බවයි දැක්වෙන්නේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවා තිබුණා.
එහිදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වසරක කාලයක් ඉක්මවා ගිය පසු, එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලය පවතින බව පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා විසින් පෙන්වා දෙනු ලැබුවා.
ඒ අනුව, සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.



