Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදි කර ඇති රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (20) පෙරවරුවේ සුබ මොහොතින් නිරාවරණය කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරය සහ ඉදිරිපස ප්‍රදේශය අලංකාර කිරීමත්, දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙනුත් 1987 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස විසින් මෙම රන් වියන සාදවා පූජා කර තිබුණු බවයි සඳහන් වන්නේ.

මෙම සුවිශේෂී කුටියට සෙවන දෙමින්, ඊට ඉහළින් ඉදි කර තිබෙන මෙම රන් වියනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ‘විශ්ව පාරමී’ පදනමේ මූලිකත්වයෙන් 2025 වසරේදී ආරම්භ කෙරුණු අතර, මෙය නිර්මාණය කිරීම මෙන්ම එහි මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාවේ අනන්‍යතාවක් වූ මෙම රන් වියන, දෙස් විදෙස් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක් වන අතිශය අලංකාර හා වාස්තු විද්‍යාත්මක වැදගත් නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ.

රන් වියනෙහි තිබූ රන්පත් පියළි අවර්ණ වී ක්ෂය වී තිබුණු අතර, ඒ හේතුවෙන් රන් වියනේ පෙර තිබුණු දිස්නය හා අලංකාරය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මූලිකත්වයෙන් තායිලන්තයේ ‘වට් මාර්ප් ජෑන්’ ආරාමයේ දායකත්වයෙන්, කැරට් 24 රන් පියළි අතුරා මෙවර රන් වියන ප්‍රතිසංස්කරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.