මුහුදු මාර්ගයෙන් රහසිගතව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් කිලෝග්‍රෑම් 71.24 ක තොගයක් ඉන්දියාවේ චෙන්නායි හිදී අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.
ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 17 සහ 18 යන දිනවල චෙන්නායි හිදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ලද බුද්ධි තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයේදී, සැකකටයුතු මෝටර් රථයක් සහ එය සමඟ ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී සුදු පැහැයට හුරු කුඩු සහිත පැකට් 69 ක් සොයා ගෙන තිබෙනවා.
සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස චෙන්නායි භාවිත කරමින් තිරුචි හරහා මුහුදු මාර්ගයෙන් මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර තිබුණු බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



