Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මැදිරිගිරිය ප්‍රදේශයේදී කලකට පෙර සිදු වූ කැබැල්ලෑවෙකු මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සත්ත්වයා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, මැදිරිගිරිය පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

පාසල් සිසුවෙකු පාසලට රැගෙන ආ ජංගම දුරකථනයක් ගුරුවරයෙකු විසින් පරීක්ෂා කිරීමේදී මෙම වීඩියෝ දර්ශන හමු වී ඇති අතර, ඒ පිළිබඳව අනාවරණය වීමත් සමඟ බලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින්ගේ නිවාස සහ සැකකටයුතු ස්ථාන කිහිපයක් සෝදිසියට ලක් කිරීමෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා හඳුනා ගෙන ඇති බවත්, කෙසේ වෙතත් කැබැල්ලෑවා මරා දැමූ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන්.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ දැඩි ලෙස ආරක්ෂාව හිමි කර දී ඇති කැබැල්ලෑවා, වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස දැක්වෙනවා.