බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියැදුරෙකුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊයේ (19) කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ ලංගම බස් රථයක් පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සංඥා කර ඇති අතර, එම අණ නොතකා බස් රථය ධාවනය කිරීම හේතුවෙන් නිලධාරීන් විසින් රථය ලුහුබැඳ ගොස් නවත්වා පරීක්ෂා කර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී බස් රථයේ රියැදුරු බීමත්ව සිටින බවට නිරීක්ෂණය වී ඇති බවත්, ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව සිදු කළ පරීක්ෂණයෙන් ද ඔහු බීමත්ව සිටි බව තහවුරු වී ඇති බවත් සඳහන්.
58 හැවිරිදි නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 35,000 ක දඩයක් නියම කර ඇති අතර, ඔහුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට ද අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.



