Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දින 28 ක් වැනි කෙටි කාලයක් තුළ 98%කට ආසන්න හිසකෙස් වර්ධනයක් පෙන්නුම් කරමින්, හිසකෙස් නැවත වර්ධනය උත්තේජනය කළ හැකි නව්‍ය විද්‍යුත් පනාවක් චීන විද්‍යාඥයින් පිරිසක් විසින් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

‘Detangle’ ලෙස නම් කර ඇති මෙම පර්යේෂණාත්මක උපකරණය, Beihang විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් City University of Hong Kong හි විද්‍යාඥයින් සමඟ එක්ව නිර්මාණය කර ඇති බවයි සඳහන් වන්නේ.

'Nature Communications' නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, මෙම උපකරණය මඟින් මෘදු විද්‍යුත් උත්තේජනයක් සමඟ චිකිත්සක අණු (therapeutic molecules) කෙළින්ම කෙස් ගස් මුල් වෙත ලබා දීම සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙම විද්‍යුත් උත්තේජනය මඟින් චිකිත්සක අණු සම තුළට වඩාත් ගැඹුරට විනිවිද යාමටත්, කෙස් ගස් මුල් වෙත වඩාත් ඵලදායී ලෙස ළඟා වීමටත් උපකාරී වන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

රටාමය හිසකෙස් ගැලවී යාම ලෙස හැඳින්වෙන 'androgenetic alopecia' තත්ත්වය පර්යේෂණාත්මකව ඇති කරන ලද මීයන් යොදා ගනිමින් පර්යේෂකයන් විසින් මෙම උපකරණය පරීක්ෂාවට ලක් කර ඇති අතර, දින 28කට පසු විද්‍යුත් උත්තේජනය සහ චිකිත්සක ප්‍රතිකාරය යන දෙකම ඒකාබද්ධව ලබා දුන් මීයන්ගේ ප්‍රතිකාර කළ ප්‍රදේශයේ 97.85% ක පමණ රෝම වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊට සාපේක්ෂව, හිසකෙස් ගැලවී යාම සඳහා බහුලව භාවිත වන ඖෂධයක් වන 'මිනොක්සිඩිල්' (minoxidil) සමඟ ප්‍රතිකාර කළ මීයන් එම පර්යේෂණ කාලය තුළ පෙන්නුම් කර ඇත්තේ 70% ක පමණ වර්ධනයක් වන බව ද සඳහන්.

කෙසේ වෙතත්, මෙම උපකරණය තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින බවත්, මිනිසුන්ගේ හිසකෙස් නැවත වර්ධනය කරන බවට මෙතෙක් සායනිකව තහවුරු වී නොමැති බවත්, පුළුල් වෛද්‍ය භාවිතය සඳහා සලකා බැලීමට පෙර එහි ආරක්ෂාව, ඵලදායීතාවය සහ දිගුකාලීන ප්‍රතිඵල තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් සහ මානව සායනික පරීක්ෂණ අවශ්‍ය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.