2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් එක් මැතිවරණ කොට්ඨාසයෙන් තෝරා පත්කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන්කර ඇති සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 196 ක් වන අතර, මැතිවරණ කොට්ඨාස 22 සඳහා ජනගහනය සහ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව පදනම් කර ගනිමින් අදාළ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිවයිනේ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 17,534,397 ක් ලෙස සටහන් වෙනවා.
මෙහිදී, වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, එම දිස්ත්‍රික්ක දෙකටම මන්ත්‍රී ධුර 19 බැගින් වෙන්කර තිබෙනවා.
එසේම, කළුතර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 11 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 12 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 09 ක් ද වෙන්කර ඇති බවයි දැක්වෙන්නේ.
2026 ඔක්තෝබර් 19 වැනිදා සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය පදනම් කර ගනිමින් මෙම මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වැනි ව්‍යවස්ථාවේ 8 වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම නිර්ණය සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාල නිවේදනය පහතින්.



