Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

'මුරාසු' සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන්, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (02) පෙරවරු 10.30 ට ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

බටහිර-මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින 'මුරාසු' සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 81.8° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බවත්, මෙම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රිය සහ හෙට (03) අලුයම් කාලය අතරතුර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 - 80 අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇතිවීම හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

උතුරු අක්ෂාංශ 10 - 17 අතර සහ නැගෙනහිර දේශාංශ 80 - 90 අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර හා නාවික ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත්, එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ද නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.