එයාර්බස් අල්ලස් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබෙන බැවින්, එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වනදා (හෙට දින) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබෙනවා.
මෙම නඩුකරය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“ස්වාමීනි.... මෙම නඩුකරය ඔබතුමාගේ අධිකරණය හමුවේ කැඳවන අන්තිම දවස අදයි. මම පසුගිය වතාවේ ඔබතුමාගේ අධිකරණයට දැනුම් දුන්නා මෙම නඩුකරය ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලීම පැමිණිල්ල විසින් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවට. ඒ අනුව මෙම නඩුකරය කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනුකර අවසන්. ඒ තුළ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් ඉදිරිපත් කර තිබෙනවා. සාක්ෂිකරුවන් සංඛ්යාව 59 ක්. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්රහයේ 195 වන වගන්තිය යටතේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරි පියවර ගත යුතුයි. එම වගන්තිය ප්රකාරව මෙම නඩුවේ විත්තිකරුවන් අධිකරණය හමුවට කැඳවීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ක්රියාකළ යුතුයි. ඒ නිසා සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙතයි. ඒ අනුව විත්තිකරුවන්ට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නොතීසි නිකුත් කරන තෙක් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. එය තමයි ව්යවස්ථාදායකයේ අරමුණ. ඒ අනුව කටයුතු කිරීම මිස ඔබතුමාට වෙනත් විකල්පයක් නැහැ” යනුවෙන් කියා සිටියා.
ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්ර ප්රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“ස්වාමීනී... පැමිණිල්ලේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ ස්ථාවරයට මා එකඟ වෙනවා. මෙම සැකකරුට එරෙහිව මේ වන විට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබෙන බව දැනුම් දෙනු ලැබුවා. එම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනටමත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. එම නිසා මෙම නඩුකරය කවදා කැඳවයි ද කියලා අපට කියන්න බැහැ. පැමිණිල්ලේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා මෙම නඩුකරයේ කටයුතු අද මෙම අධිකරණයේ අවසන් වන බව. ඒ නිසා ඔබතුමාට තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට අවශ්ය කරන නියෝග නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ අනුව තවදුරටත් ඉදිරියට බලපාන නියෝග නිකුත් නොකරන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් පැවසුවා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා,
“මෙම සැකකරුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. මෙම නඩුකරයට අදාළව දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්රකාරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක සැකකරුවකු නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කළ යුතුයි. එවැනි අවස්ථාවක සැකකරුවෙකුට ඇප ප්රදානය කිරීමට බලය ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන අවස්ථාවකයි. නමුත් මෙම නඩුකරයට අදාළව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා මේ වන විට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර තිබෙනවා. එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට මෙම අධිකරණයට හැකියාවක් නැහැ. ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතාව නොපමාව එම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා” යනුවෙන් මහේස්ත්රාත්වරයා නියෝග කර සිටියා.
ඒ අනුව සැකකරු මේ මස 28 වනදා කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා, එසේ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ වාර්තාවක් මේ මස 30 වනදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.
එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රඳවා තබාගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන් වෙත මහේස්ත්රාත්වරයා කළ නියෝගයේ සඳහන් වුණා.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.



