Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන ඇප ඉල්ලීම පිළිබඳව හෙට දින සිය ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි... මෙම සැකකරුගේ පියා අසූඑක්වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහු අධික විශාද තත්ත්වය නිසා රෝහල්ගතවී නිවසට පැමිණ තිබෙනවා. සැකකරුගේ මවත් බරපතළ හෘද රෝගී තත්ත්වයක පසුවන තැනැත්තියක්. ඇය රෝහල්ගතව සිටිනවා. ඇයට අද පස්වරු හතරට විවෘත හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම සැකකරු සිටියේ ඔහුගේ මව සහ පියා සමඟ. තමන්ගේ දෙමාපියන් දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් ඔවුන් රැකබලා ගැනීමේ වගකීම වැඩිමහල් පුත්‍රයා ලෙස මෙම සැකකරුට පැවරී තිබෙනවා. මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරුට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාව ප්‍රකාරව ඕනෑම පුද්ගලයෙකුට අධිකරණයකින් වරදකරු කරන තුරු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවෙනවා. අද ඔබතුමාගේ ඉදිරියේ සිටගෙන සිටින සැකකරු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙසයි සැලකිය යුත්තේ. යම් පුද්ගලයකු රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කළ හැක්කේ ඔබතුමාට පමණයි. ඔබතුමා එම බලය වෙනත් අයට උදුරා ගන්න දෙන්න එපා. නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ ඇයි? නීතියට පුද්ගලයකුගේ නම, තරාතිරම අදාළ නොවන නිසා තමයි එසේ කර තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැවොම එක සමානයි. මේ රජයේ අමාත්‍යවරයෙකුට අල්ලස් කොමිසමෙන් නඩුවක් ගොනු කළා. එහෙත් එම පුද්ගලාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ නෑ. ඔහු උත්සවවල පීත්ත පටි කපනවා. නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. භයානක මත්ද්‍රව්‍ය නඩුවලදී පවා සානුකම්පිත හේතු මත සැකකරුවන්ට අධිකරණය විසින් ඇප ලබා දෙනවා. ප්‍රභාකරන් මියගිය පසුව ඔහුගේ මව සහ පියා රජයෙන් රැකබලා ගත්තා. ඒ සානුකම්පිත කරුණු මතයි. අද පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්වීමට පුළුවන්. එම නිසා මෙම සැකකරුගේ මව සහ පියා පත්ව සිටින දැඩි රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන එය සුවිශේෂී කරුණක් ලෙස පිළිගෙන ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මීට වඩා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ ස්වාමීනි... එහෙම කරනවනම් නිර්මාණය කරලා තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කරමින් නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි... මෙම මෝසමට අදාළ ලේඛන අල්ලස් කොමිසම වෙත ලැබී නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ලිඛිතව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ස්වාමීනී... අල්ලස් කොමිසම සෑම කෙනෙකුටම එකම ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. කිසිදු පුද්ගලයෙකුට විශේෂත්වයක් දක්වා නෑ.”යනුවෙන් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම සැකකරුට අදාළ ඇප නියෝගයක් පසුගිය 23 වනදා ප්‍රකාශයට පත් කළ බවත්, අද දින ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු එදින සුවිශේෂී කරුණු වශයෙන් ඉදිරිපත් නොකළ බවයි.

ඒ අනුව අද දින ඉදිරිපත් කරන කරුණු මත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණය තීරණය කරන බවත්, එම ඇප ඉල්ලීමට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනියට නියම කළා.