අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට යළි පැමිණීමට නොහැකිව ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්‍රා 25කට, පවතින අවදානම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දීය දේශ සීමාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය පවසනවා.
ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති 'ආර්නබ්' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් රැඳී සිටින බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස්වලට අනුව, බලපෑමට ලක්වූ මුහුදු කලාපවලින් වහාම ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ද එම යාත්‍රාවලට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.





