පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහාම ජනාධිපති සමාව පිරිනමා, පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ලබා දිය හැකි උපරිම සිර දඬුවම් කාලය මාස 18 ක් වන අතර, ඥානසාර හිමියන් මේ වන විටත් මාස 10 කට අධික කාලයක් බන්ධනාගාරගතව සිට ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙන්නේ.
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට එදා පියවර ගත් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි ද ජනාධිපති සමාවක් යළි උන්වහන්සේ වෙත පිරිනැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි යැයි සඳහන් වන බව ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවති පා ගමනට සහ සත්‍යග්‍රහයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ද උසාවි නියෝග ලබා ගැනීමට රජය විසින් ක්‍රියා කරනු ලැබූ බවත්, මේවා නොවිය යුතු බරපතළ වැරදි වන බවත්, ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට නියෝග දුන් අය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ.
ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ද මැදිහත්වීම යටතේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.




