Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති 'ARNAB' සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීම සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය 'ARNAB' සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, අද රාත්‍රී 11.30 පමණ වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බව ද සඳහන් වනවා.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 - 100 අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3 - 4 අතර උසකට ඉහළ යා හැකියි. 

එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

උතුරු අක්ෂාංශ 10 - 20 අතර සහ නැගෙනහිර දේශාංශ 80 - 95 අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා. 

එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්.