Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජය විසින් මෑතකදී ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB)’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් මඟින් විධායකයට අධික බලතල ප්‍රදානය කෙරෙන අතර, පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේදී අධිකරණ අධීක්ෂණය දැඩි ලෙස සීමා කෙරෙන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන අයගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.

මීට පෙර සකස් කරන ලද රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA) සාකච්ඡා මාර්ගයෙන් එකඟ වූ කරුණු වෙනස් කරමින්, ගැසට් කරන ලද අවසන් පනත් කෙටුම්පත සකස් කර ඇති බව නීතිඥ සංගමය පෙන්වා දෙනවා. 

සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු ඇගයීමට මහේස්ත්‍රාත්වරයාට ඇති අභිමතානුසාරී බලය සීමා කරමින් රිමාන්ඩ් කිරීම අනිවාර්ය කර තිබීම, මහාධිකරණයෙන් පමණක් ඇප ලබාගත හැකිවීම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි වැරදිවලදී ඇප ලබාදීම සුවිශේෂී අවස්ථාවලට පමණක් සීමා කර තිබීම ද එමඟින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මුල් මාස දෙකෙන් ඔබ්බට රඳවා තබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර තිබීම ද අධිකරණ අනුමැතියකින් තොරව රඳවා ගැනීම් දීර්ඝ කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ලෙස නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා.

එසේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධයෙන් කරුණු දක්වන නීතිඥ සංගමය සඳහන් කරන්නේ, කිසිදු මහජන උපදේශනයකින් තොරව හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත හරහා සුළු වැරදි පවා "දරුණු අපරාධ" ලෙස වර්ගීකරණය කර ඇති බවයි. 

එමෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, සාමකාමී විරෝධතා සහ තරුණ ප්‍රජාව අසාධාරණ ලෙස මෙම පනතේ බලපෑමට ලක්විය හැකි බැවින් සාමකාමී විරෝධතා සහ සිවිල් සමාජය මර්දනය වීමේ අවදානමක් පවතින බව ද සඳහන් වනවා.

මෙම පනත් කෙටුම්පත් සඳහා කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන ගෙන ඒම කළ යුතු බවත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සහ පුළුල් මහජන උපදේශනයකින් පසු පමණක් එවැනි නීති ඉදිරිපත් කිරීමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා කර තිබෙනවා.

පිටු 07 කින් සමන්විත අදාළ නිවේදනය පහතින්.