පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමට හේතු වූ අධිකරණ තීන්දුවේ සඳහන් වන 'තාක්ෂණික දෝෂය' කුමක්ද යන්න පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමේදී අදාළ නඩු තීන්දුවේ දැක්වෙන්නේ, උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදුවූ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිලේඛනවල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවත්, ගරු අධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නිවැරදි බවත්, තමා එම තීන්දුවට ගරු කරන බව යැයි මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති නඩු දෙකක් යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපිලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ලබාගත යුතුව තිබුණු බවත්, ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමඟ යැවීමක් බව ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
පාක්‍යසෝති සරවනමුත්තුගේ රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත මෙම නීතිමය තීරණය ලැබී ඇති අතර, තම මණ්ඩලයේ එවකට කටයුතු කළ නිලධාරීන්ගේ මෙම වරද හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි සිරගත වීමට සිදුවී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
එවකට තම නිලධාරීන් අතින් සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් ගෞරවනීය මහා සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව ද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



