සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම, මේ පිළිබඳ උනන්දුවෙන් පසු වූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවයි සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මෙම යහපත් ප්‍රතිඵලය ලබා ගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වවල නොපසුබස්නා උත්සාහය නිසා බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙත ද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක්, ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියට ද ලබාදීමට රජය සූදානමින් සිටින බවයි ජනාධිපතිවරයා සිය 'X' සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




