එයාර්බස් ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනයක සැකකාරියක වන, ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කර තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා අදාළ සැකකාරිය වෙනුවෙන් තබා තිබූ රුපියල් මිලියන 20 බැගින් වූ ඇප මුදල් මෙලෙස රාජසන්තක කර ඇති බවයි වාර්තා වන්නේ.
අද දින රුපියල් මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන් අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අද දින රුපියල් මිලියන 20 ක මුදල අධිකරණයට භාරදෙන ලෙසත්, ඉතිරි රුපියල් මිලියන 20 ක ඇප මුදල ඔක්තෝබර් 17 වැනිදා ගෙවන ලෙසත් නියෝග කර සිටියා.
ඉහත සැකකාරිය අධිකරණය මඟහැරීම නිසා මේ වන විටත් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති අතර, ඇය වෙනුවෙන් ඇපකරුවන් වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අද විවෘත අධිකරණයේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.


