පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ විශේෂ වැටලීමකදී එවැනි බෝතල් 801 ක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබෙනවා.
අදාළ බෝතල් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව, අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
පානීය ද්‍රව රැගෙන යාම සඳහා භාවිත කරන, නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය අදාළ වන අතර, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු බවත්, ආනයනික බෝතල් SLSI ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අලෙවියට අනුමත කර තිබීම අනිවාර්ය බවත් එම අධිකාරිය පෙන්වා දෙනවා.
මෙවැනි බෝතල් මිලදී ගැනීමේදී අදාළ ප්‍රමිති හා නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කරගන්නා ලෙසට පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින අතර, වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.


