Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් සහතික කිරීම අරමුණු කර ගනිමින්, රජය ක්‍රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් දැනට සංවර්ධනය කරමින් පවතින “පළාත් පාලන ආයතන ඩිජිටල්කරණ ජාතික රාමුව” පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පළාත් පාලන ආයතනයකින් පුරවැසියන්ට ඉටු විය යුතු සමස්ත කාර්යභාරය හඳුනාගෙන, ඉන් ඩිජිටල් පද්ධතියට ඇතුළත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි සේවාවන් මොනවාදැයි වෙන්කර හඳුනා ගන්නා ලෙසත්, දැනට පවතින පද්ධතිවලින් එම සියලු සේවාවන් ආවරණය වන්නේදැයි පරීක්ෂා කර බලන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතුවලදී  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත්, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවද සඳහන්.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන පද්ධතිවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට අවශ්‍ය සංශෝධන සහ වැඩිදියුණු කිරීම් සිදු කරමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීමේ කටයුතු කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකු යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

පළාත් පාලන ආයතන මගින් මහජනතාවට සපයනු ලබන වරිපනම් ගෙවීම්, මිශ්‍ර ආදායම් (ප්‍රදර්ශන පුවරු ගාස්තු, ක්‍රීඩාංගණ සහ මහජන ශාලා වෙන්කිරීම්), කඩකුලී, ජල බිල්පත් ගෙවීම්, සහ විවිධ අවසර පත්‍ර / බලපත්‍ර ලබා ගැනීම ඇතුළු සේවා මෙන්ම මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් සකස් කර ඇති ඩිජිටල් ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.