නාගරික ප්‍රවාහනය වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ 122 ක් පොදු ප්‍රවාහන සේවයට එක් කිරීමේ අවස්ථාව යනු, රජය පත්වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ රට ගමන් කරන දිශානතිය පෙන්වා දෙන සංකේතයක් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
මෙට්‍රෝ සේවය ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියන 7.5 ක් පමණ යොදවා තිබෙන බවත්, එය රටේ ආර්ථික ශක්තිමත්භාවයේ සංකේතයක් බවයි ඊයේ (29) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙයින්, රජයේ වසර 02 ක ගමන එහි ‘ලිට්මස් පරීක්ෂාවෙන්’ සමත් වී ඇති බව තහවුරු වන බවත්, මෙම කාර්යය සඳහා ගත වී තිබෙන්නේ වසරකටත් වඩා අඩු කාලයක් බවත් ඔහු පෙන්වා දුන්නා.
ලබන වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50 ක් ගෙන්වා, යාපනය, මහනුවර සහ ගාල්ල යන නගරවල නගරාන්තර සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
නාගරික වාහන තදබදය අවම කරගැනීම සඳහා මෙට්‍රෝ සේවය ව්‍යාප්ත කිරීමේදී විශේෂ නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් උපයෝගී කරගන්නා බවත්, ඉන්පසු මේ සඳහා පෞද්ගලික අංශය ද එක්කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු පවසා සිටියේ.
'Park & Ride' ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ බස් නැවතුම්පොළ ආසන්නයේ රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සකස් කර දෙන ලෙසට අදාළ නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


