Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබාගැනීමේ සහ රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.

2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා සමාජ ක්‍රියාකාරිකයන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාළව, Zoom ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම පැමිණිල්ල යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අතර එහි සාක්ෂිකරුවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බවත්, යාපනය හැර අන් ඕනෑම අධිකරණයක සාක්ෂි දීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ අතර, ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

මෙහිදී පැමිණිල්ලේ නීතිඥවරයා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර ගෝඨාභය රාජපක්ෂ, තමා 2006 වසරේ සිට වසර 10 ක් පමණ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත්, ඉන් පසුව 2019 වසරේදී ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවත් පැවසුවා.

ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අවධියේ සිදු වූ පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර තිබුණේ දැයි පැමිණිල්ලේ නීතිඥවරයා එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ, "සෑම අතුරුදන් කිරීමක් ගැනම වාර්තා වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ සිද්ධීන් වාර්තා වෙනවා. ඒවා ගැන ඇහුවොත් මට කියන්න පුළුවන්." යනුවෙන් පිළිතුරු ලබා දුන්නා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණේදැයි නීතිඥවරයා ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ, "එවැනි සිද්ධියක් වාර්තා වුණා. නමුත් ඒ ගැන මට දැන් විස්තර මතක නෑ. මොකද මේවා අවුරුදු 15කට පමණ පෙර සිද්ධ වෙච්ච සිද්ධීන්. ඒවා ගැන කරුණු සොයලා බලලා සූදානම් වෙලා මම අද ආවේ නෑ" යනුවෙන් පැවසුවා.

"කීත් නොයාර් පැහැර ගැනීමෙන් පසුව ලලිත් අලහකෝන් නැමැත්තෙකු ඔබට දුරකථනයෙන් කතා කළා මතකද?" යනුවෙන් නීතිඥවරයා විමසුවා.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ, "ස්වාමීනී, මට එහෙම මතකයක් නෑ, කවුරු කතා කළාද කියලා. මේවා පරණ සිද්ධි නිසා හරි හැටි මතකයක් නෑ" යනුවෙන් පැවසුවා.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් යුද හමුදාවේ ට්‍රිපොලි කඳවුරේ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස ඉදිරිපත් කළ බව දන්නවාදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ, "නෑ, මම දන්නේ නෑ" යනුවෙන් පැවසුවා.

"කීත් නොයාර් මරා දැමීමකින් තොරව නිදහස් කෙරුණේ ඔබ මැදිහත් වීම නිසා නේද?" යැයි නීතිඥවරයා ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, "නෑ ස්වාමීනී, මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා." යනුවෙන් සඳහන් කළා.

යළි ප්‍රශ්නයක් මතු කළ නීතිඥවරයා, "මම යෝජනා කරනවා ආරක්ෂක ලේකම්වරයා ලෙස පැහැර ගැනීම්වලට සහ අතුරුදහන්වීම්වලට ඔබ මැදිහත්වෙලා සෘජුව උපදෙස් දුන් අවස්ථා ඇති බව…"

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, "නැහැ. මම එය ප්‍රතික්ෂේප කරනවා. කිසිම අවස්ථාවක භූමියේ සිදුවූ කිසිඳු ක්‍රියාන්විතයකට මම සම්බන්ධ වී නැහැ."

යළි ප්‍රශ්නයක් මතු කළ නීතිඥවරයා, "ඔබ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවධියේ පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා නේද?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළා.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු, "ස්වාමීනී... ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒවා අසත්‍ය චෝදනා. ඒවා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින්, රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා" යනුවෙන් පිළිතුරු ලබා දුන්නා.

එයින් අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මස 27 දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළා.

එදින අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය විසින් නියෝග කර සිටියා.