Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම සහ නීතිය අවභාවිත කිරීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

එහි පළමු පියවර ලෙස අද ඇමෙරිකානු තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගත් බවත්, ඉදිරියේදී අනෙකුත් තානාපති කාර්යාල ද මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකු යොදවා පොලීසිය පාලනය කිරීම, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කළ ආකාරය සහ නීතිමය ප්‍රතිපාදන අවභාවිත කරමින් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් කිරීම යන කාරණා සම්බන්ධයෙන් ද මෙහිදී තානාපති කාර්යාලය දැනුවත් කළ බවයි හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ.

රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු එම රටේ සියලු පුරවැසියන්ට බලපාන කරුණක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණහොත් අනාගත පරපුරට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී, ආණ්ඩුවට බියෙන් පසුවීමට සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.