මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම සඳහා ඉදිරි මාස තුනක කාලයක් ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා මෙම සහනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
එහිදී ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15 ක්, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5 ක් සහ දෙසැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 12.15 ක් වෙන් කිරීමට නියමිතයි.
ඒ අනුව, මාස තුනම සඳහා ඩීසල් සහනාධාරය වෙනුවෙන් වෙන් කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 40.65 ක් වන බව සඳහන්.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමකින් තොරව පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම මෙම සහනාධාරයේ අරමුණ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


