Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිලධාරීන් වෙත ලබා දීම මෙහිදී සිදු කෙරුණා. 

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, එම ලේඛනය ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබා දීමට ද නියමිතයි.

ජාතික විෂයමාලා රාමුවට අනුව, පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වූ පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීම, සෞන්දර්ය හා ඉතිහාසය ඇතුළුව සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව සහ ඇගයීම් ක්‍රමවේදයේ සිදු වන වෙනස්කම් වැනි කරුණු පිළිබඳව මෙහිදී පැහැදිලි කර තිබෙනවා.

මීට අමතරව 10-11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයයන් මෙන්ම 12-13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය, ආචාර ධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා වැනි විෂය මාලාවට අලුතින් ඇතුළත් කර ඇති නව යෝජිත විෂය ක්ෂේත්‍ර පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදු කරන පාසල් යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධන ව්‍යාපෘති, පළාත් මට්ටමින් සිදු කෙරෙන ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු මොඩියුල සම්පාදනය හා බෙදා හැරීම සහ 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී නිලධාරීන් දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.