Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘද සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121 සහ 123 වගන්ති අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇත්තේ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතා, විශේෂයෙන්ම 83 වන වගන්තිය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය ද යන්න නිශ්චය කිරීමේ අධිකරණ බලය පමණක් බවයි අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ.

එබැවින් මෙම තීරණය, යෝජිත සංශෝධනය සාධනීය ද, උචිත ද, නැතහොත් පාර්ලිමේන්තුව විසින් එය සම්මත කළ යුතු ද යන්න පිළිබඳ දේශපාලන හෝ ප්‍රතිපත්තිමය තීරණයක් නොවන බව ද එහි සඳහන්.

යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු ද යන්න තීරණය කිරීමේ දැවැන්ත වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බවත්, ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව කෙරෙහි ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්තිගරුක ස්ථාවරයක පිහිටා කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.