Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයට අදාළව සිදුකරන විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ වීඩියෝවේ සඳහන් ස්ථානය කිලිනොච්චි පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් කන්නගිපුරම් බටහිර, මුක්කම්පන් ප්‍රදේශය බව හඳුනාගෙන තිබෙනවා. 

පලෙයි ප්‍රදේශයේ මහ කැලෑවක් එළිකර තට්ටු 03 ක ගොඩනැගිල්ලක් සාදා ඇති බවත්, මෙය එල්.ටී.ටී.ඊ. කඳවුරක් බවත්, බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් මෙහි පවත්වාගෙන යන බවටත් පුද්ගලයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ශ්‍රී ලංකා පොලිසියේ නිරීක්ෂණයට ලක්වීමත් සමඟ මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලට අදාළව වාර්තා කැඳවීමට කටයුතු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව සමාජ මාධ්‍ය හරහා ඉහත පරිදි සිදුකරන ලද ප්‍රචාරය පදනම් විරහිත සහ අසත්‍ය එකක් වන බවත්, මෙම ස්ථානය මූලික කර ගනිමින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, නීතිවිරෝධී ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදුවන බවට කිසිදු කරුණක් විමර්ශනයේදී හෙළිදරව් නොවූ බවත් පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. හෝ වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් හෝ අන්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සහ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමක් එම ස්ථානයේ සිදුනොවන බවත්, මෙම ස්ථානය සම්බන්ධයෙන් නීතිවිරෝධී කැලෑ එළිකිරීමක් හා නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි සඳහන් වන්නේ.

2026.08.18 දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, එම ප්‍රකාශය සිදුකළ වයස අවුරුදු 46 ක් වන බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. 

පසුව ඔහු ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී සැකකරු සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.