රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (19) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30 ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් විමසා බැලූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙන බවත්, පළමු ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අගදී නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.
ජනතාව රජය සමග සිදු කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති GovPay වැඩසටහනේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත (online) තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවට එහිදී සඳහන් කෙරුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.




