Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාසල් නිවාඩු සමයත් සමඟ, සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩුව හේතුවෙන් මේ දිනවල සරුංගල් යැවීම දරුවන් අතර ජනප්‍රිය වී ඇති බවත්, නොසැලකිලිමත් ලෙස සරුංගල් යැවීම හේතුවෙන් බරපතළ තුවාල මෙන්ම ජීවිත අවදානම් පවා ඇති විය හැකි බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

විශේෂයෙන් උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී ඇදවැටීම් සිදු විය හැකි අතර, කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී ගැටීම් හා වැටීම් හේතුවෙන් ද අනතුරු සිදු විය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

අධිබලැති විදුලි රැහැන් ආසන්නයේ සරුංගල් යැවීම ඉතා අවදානම් ක්‍රියාවක් බවත්, සරුංගල් නූල් විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය විය හැකි බවත්, එවැනි විදුලි සැර වැදීම් හේතුවෙන් අත්, බාහු සහ පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායුවලට දැඩි හානි සිදු විය හැකි අතර, ඇතැම් අවස්ථාවල හානි වූ ශරීරාංග ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට පවා සිදු වන බවයි පැවසෙන්නේ.

විදුලි සන්නායකතාව ඇති නූල් අධිබලැති විදුලි රැහැන් සමඟ ගැටීමෙන් ක්ෂණිකව ජීවිත හානි සිදු විය හැකි බැවින්, විදුලි රැහැන් පවතින ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.