වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් කටයුතු යොදා තිබෙනවා.
ලබන 18 වැනිදා සිට 22 දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර, 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර ද වීථී සංචාරය කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, එම පෙරහැර පවත්වන කාලසීමාව ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මාර්ග බාධක ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම යන කරුණු කිහිපයකින් මෙම වැඩපිළිවෙළ සමන්විත බව දැක්වෙනවා.
මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6,200 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564 ක් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200 ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29 ක් ද යොදා ගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර, පොලිස් නිල සුනඛ සහාය ද ලබා ගැනීමට නියමිතව ඇති බවයි පොලිසිය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
දළදා පෙරහැර පැවැත්වෙන කාලය තුළ, මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14 ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරි ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන්.
පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන පිරිස් වෙත රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13 ක් සකස් කරන බවත්, ඒ අනුව සැහැල්ලු වාහන රථ ගාල් 06 ක් සහ බරවාහන රථ ගාල් 07 ක් ද මහජනතාවගේ පහසුව සඳහා වෙන් කෙරෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම පෙරහැර කාලසීමාව තුළදී මහනුවර නගරය මග හැර රථවාහන ගමන් කිරීම සඳහා රියදුරන් හට විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවත්, ඒ අනුව අදාළ කාලසීමාව තුළදී එම විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙසත් පොලීසිය විසින් රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ රථවාහන සහ ආරක්ෂක සැලැස්ම ඇතුළත් නිවේදනය පහතින්.




