Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම ද සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සාකච්ඡාවේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත්, ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කර තිබෙනවා.

එසේම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරභයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන් හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.