Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබා දීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම රැස්වීමේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව සඳහන්.

එමෙන්ම උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණ දෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වා දී තිබෙනවා.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබා දීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.