ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදු කළ ප්‍රකාශය තුළින් කිසිදු මරණ තර්ජනයක් සිදු කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
සාගර කාරියවසම් විසින් සිය ප්‍රකාශයෙන් හිටපු පොලිස්පතිවරුන් වන පූජිත ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන් යන අය මුහුණ දුන් ඉරණම සිහිපත් කරමින්, ආණ්ඩුවට නොව මහජනතාවට සහ රජයට සේවය කරන ලෙසට වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා සිටි බවයි ඊයේ (10) රාත්‍රියේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව, මීට පෙරදී රටේ මහජනතාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පහර දී අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හා අමාත්‍යවරයෙකුට ද පහර දුන් බවත්, එම සිදුවීම් පදනම් කර ගනිමින්, වත්මන් පොලිස්පතිවරයා මේ ආකාරයෙන් කටයුතු කළහොත් වත්මන් පොලිස්පතිවරයාට ද එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවට අනතුරු ඇඟවීමක් සහ උපදෙසක් ලබාදීම මිස, සාගර කාරියවසම් විසින් මරණ තර්ජනයක් එල්ල නොකළ බවත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මහ ලේකම්වරයාගේ මෙවැනි ප්‍රකාශයක් හරහා පොලිස්පතිවරයා බියට පත් වනවා නම්, පාතාල කල්ලි නායකයෙකු ඔහුට කතා කළහොත් පොලිස්පතිවරයාට සුළුදිය පහ වනු ඇති බවත්, මෙවැනි ප්‍රකාශයකට පවා බිය වන පොලිස්පතිවරයෙකු වෙනුවට ඕනෑම අභියෝගයකදී නොසැලී සිටින පොලිස්පතිවරයෙකු පත් කර ගත යුතු බවත්, රජයේ නිලධරයන් ඉවත් කිරීමේ විශේෂ විධිවිධාන පනත යටතේ වත්මන් පොලිස්පතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කළ යුතු බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



