Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත බවයි විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර සිටියේ.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.

විභාග ශාලාවට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීම අනිවාර්යය වන බව ද, ප්‍රවේශ පත්‍රය අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය නැවත බාගත කර ගැනීමේ හැකියාව පවතින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විභාගය සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු ගමන් බලපත්‍රය පමණක් භාවිත කළ හැකි බවත්, ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පත සඳහා භාවිත කරන ඡායාරූප දෙකක් ලබාගෙන, පාසල් අයදුම්කරුවන් විදුහල්පති ලවා ද, පෞද්ගලික අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී ලවා ද සහතික කරවාගත යුතු බවයි ඇය දක්වා සිටියේ.

විභාග කාලසටහන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙසත්, එසේම ජංගම දුරකථන, ස්මාර්ට් අත් ඔරලෝසු, බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් හෝ සටහන්  විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරනවා.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින්, විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ.