Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත 2026 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ එහිදී සඳහන් කර සිටියේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටින බව සඳහන්.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ.

දරුවන් අදාළ විභාග අංක විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවත්, විභාගය ආරම්භ වීමට පැයකට පෙර දරුවා විභාග මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසත්, දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි නොවන බවත් ඇය එහිදී ප්‍රකාශ කළා.

මෙහිදී ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45 ට අවසන් වීමට නියමිතයි.

අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමිවනවා.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින්, ලබාදෙන ප්‍රශ්න පත්‍රයේම පැහැදිලි අත් අකුරින් පිළිතුරු සැපයිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර සිටියේ.

එසේම, ජංගම දුරකථන, ස්මාර්ට් අත් ඔරලෝසු, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ සටහන් කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.