දිවයින පුරා පිහිටි බන්ධනාගාර 33හිම රඳවා සිටින රැඳවියන්ගේ සුබසාධනය මෙන්ම බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා එම සෑම බන්ධනාගාරයක් සඳහාම වෙන වෙනම විශේෂ කමිටු පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, මෙම සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස පිහිටුවනු ලබන කමිටු මඟින් බන්ධනාගාර ආශ්‍රිතව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි හෝ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය පූර්ව පියවර හඳුනා ගැනීම සිදු කෙරෙන අතර, මෙම කමිටු ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.
එළඹෙන සතිය ඇතුළත මෙම කමිටු පිහිටුවීමේ කටයුතු සම්පූර්ණ කරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම මුළු මහත් වැඩපිළිවෙළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



