Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාකිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති රාජ්‍ය සේවකයකු නොවන බවත්, පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාව පවසා සිටියා.

මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද සලකා බලමින් යෝජිත වැටුප පිළිබඳ තීරණයට එළඹුණ බවත්, මිට පෙර, එය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් තිරණය කළ ද, වර්තමානයේ එවැනි කොමිසමක් නොමැති බවත් නිලධාරීන් සඳහන් කළා.

විගණකාධිපතිවරිය සඳහා යෝජිත වැටුප් මට්ටම අනුමත කළ ද, එම තනතුරට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස වූ අතර, ඒ අනුව අදාළ වැටුප් මට්ටම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු කර අවශ්‍ය තීරණ ගැනීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.