Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය විසඳීමටත්, මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මහාධිකරණයෙන් ඇප ලබාදීමේ නීති සංශෝධනයටත් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

යම් කූඨ අරමුණු ඇති පුද්ගලයින් විසින් බන්ධනාගාර රැඳවියන් ලවා බන්ධනාගාර තුළ කලබලකාරී තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ කරන බවත්, එවැනි නොමඟ යැවීම්වලට හසු නොවී, ඉවසීමෙන් කටයුතු කරන ලෙසට රැඳවියන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටින බවයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ.

බන්ධනාගාරවල පවතින අධික තදබදය අඩු කිරීමට සහ අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බවත්, බන්ධනාගාර දේපොළවලට හානි සිදු නොකර, රජයේ වැඩපිළිවෙළට සහාය දෙන ලෙසත්, සුළු පිරිසකගේ වුවමනාවන් වෙනුවෙන් මෙහෙයවීමට ලක්නොවන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත්, ඒ අනුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වැළැක්වීම සඳහාත්, ඇප ලබාගැනීමේ නීති සංශෝධනය සඳහාත් කටයුතු යොදමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවට ලැබුණු චෝදනා සලකා බැලූ රජය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැති පුරප්පාඩු 118න් 70කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව කාර්ය මණ්ඩල බඳවාගෙන ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, ඉදිරි කාලය තුළ රස පරීක්ෂක කටයුතු සඳහා නව යන්ත්‍රෝපකරණ ගෙන ඒමට නියමිත අතර, ඉදිරියේදී මසකට වාර්තා 7,500 - 9,000 අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මීට අමතරව, මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10කට වැඩි අවස්ථාවලදී, ඇප ලබා ගැනීමට අභියාචනාධිකරණය හමුවට යාමට සිදුවීමෙන් සිදුවන ප්‍රමාදය වැළැක්වීම පිණිස අදාළ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව යම් මත්ද්‍රව්‍ය වැරදි සඳහා නැවත මහාධිකරණයෙන්ම ඇප ලබාගැනීමේ හැකියාව උදාවනු ඇති බවයි අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.