පසුගිය ජූලි 23 වැනිදා රාත්‍රියේ වත්තල, කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගි වී සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහය ඇතිව සිදු කරන ලද විමර්ශනයකින් පසුව, මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 26, 35 හා 36 වයස්වල පසුවන අය වනවා.
මෙම සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු කාර් රථය පැදවූ රියැදුරු බවටත්, තවත් සැකකරුවෙක් වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇති බවට හා අනෙක් සැකකරු අපරාධකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවටත් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



