බන්ධනාගාර තුළ ඇති වන ගැටුම් පිටුපස ආණ්ඩුවේ යම් සම්බන්ධයක් හෝ කුමන්ත්‍රණයක් තිබේදැයි පරීක්ෂා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
ඒ අනුව, මෙම සිදුවීමට අදාළව අමාත්‍යවරයා ඉල්ලා අස් නොවීම හරහා පැහැදිලි වන්නේ, මෙම සිදුවීම් පිළිබඳව ඔහු කලින්ම දැනුවත්ව සිටි බව යැයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
රැඳවියන් ලෙස බන්ධනාගාරගත වන පිරිස් වෙත සිර දඬුවම් ලෙස අවුරුදු පහක් හෝ දෙකක් වශයෙන් ලැබෙන අතර, ඔවුන්ගෙන් බොහෝමයක් සැකකරුවන් ලෙස සිටින බවත්, නමුත් එසේ සිටින රැඳවියන්ට බන්ධනාගාරය තුළදී ‘මරණීය දණ්ඩනයට’ ලක්වීමට සිදු වන්නේ නම් රටේ නීතිය හා සාධාරණත්වය කුමක්දැයි යන්න ගැටලුවක් මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එසේම, වත්මන් ආණ්ඩුවේ පිරිස්වල වත්කම් ශීඝ්‍රයෙන් වැඩි වන බැවින්, ඒවා මහජනතාවගෙන් සඟවා තැබීමට නීති සංශෝධනය කිරීමට සූදානම් වූ බවත්, ජනතාවගේ දැඩි විරෝධය හමුවේ එම තීරණය ආපසු හැරවීමට ආණ්ඩුවට සිදු වූ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



