නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, මෙම සිද්ධියට අදාළව රැඳවියන් 09 දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (06) දිනයේ මධ්‍යම රාත්‍රියට ආසන්නව නව මැගසින් බන්ධනාගාර රැඳවියන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන්, එම රැඳවියන් වාට්ටු තුළින් පිටතට පැමිණ කලහකාරීව හැසිරී ඇති බවයි සඳහන් වන්නේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් එම සිදුවීම පාලනය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගෙන තිබෙනවා.
පසුව බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට සිදුවීම සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



