ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබා ගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම් දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක් වනවා.
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවල නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.








