ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඊයේ (06) කොළඹ දී පැවැත්වුණා.
ඒ අනුව, එහිදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වූ අතර, වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
එසේම, 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙසත් පැතුම් නිස්සංක සම්මාන දිනා ගනිද්දී, ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගත් අතර, ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබා ගත්තා.
2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු ද, හොඳම එක්දින පිතිකරු ලෙස චරිත් අසලංක සහ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ද සම්මාන දිනා ගත්තා.
දුෂ්මන්ත චමීර 2025 වසරේ විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත් අතර, පැතුම් නිස්සංක එම අංශයේ ද හොඳම පිතිකරු ලෙසත්, දසුන් ශානක එහි හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනා ගත්තා.
මීට අමතරව, 2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලැබූ අතර, එම අංශයේ හොඳම පිතිකාරිනිය ලෙස හර්ෂිතා සමරවික්‍රම සම්මාන දිනා ගත්තා.
2025 වසරේ විස්සයි විස්ස හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවීෂා දිල්හාරි හිමිකර ගත් අතර, චමරි අතපත්තු විස්සයි විස්ස හොඳම පිතිකාරිනිය හා තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.
2025 වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස කමිල් මිෂාර හා ඉමේෂා දුලානි ඇගයීමට ලක්වුණා.



