Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

Mobile Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැප්තැම්බර් මස අග වන විට විදුලි සංදේශ ආයතන එකඟතාවයකට පැමිණෙන්නේ නැත්නම්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සහ මෙහෙයුම්කරුවන්ගේ බලපත්‍ර කොන්දේසි යටතේ විධානයක් නිකුත් කිරීම මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉදිරි පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

ඒ අනුව, බහුතරයක් වූ ග්‍රාහකයන්ට බලා සිටීමට සිදු නොවන පරිදි, අවශ්‍ය වුවහොත් ස්ථාවර සේවාවට පෙර ජංගම දුරකථන සඳහා Mobile Number Portability සේවාව පළමුව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම, Mobile Number Portability සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉදිරි මඟක් හඳුනා ගැනීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා මෙහෙයුම්කරුවන් අතර දැනට සාකච්ඡා පවත්වමින් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම Mobile Number Portability සේවාව හරහා පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පවතින අංක වෙනස් නොකර සේවා සපයන්නන් මාරු කිරීමට ඉඩ සලසන අතර, එම පියවර රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජංගම දුරකථන පරිශීලකයන් සඳහා සාධාරණත්වය සහ පහසුව සහතික කරනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම මුලපිරීම වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2020 අගෝස්තු මාසයේදී Mobile Number Portability සේවාව හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මූලික පියවර තැබූ අතර, ඒ සඳහා වූ වෙනම සමාගමක් පිහිටුවීමත් මෙම සේවාව සඳහා අනුමැතිය ලබා දීමත් සිදු කර තිබුණා.