Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඔස්ට්‍රේලියානු ණය වාරිකයක් ආපසු ගෙවීමේදී මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය ගැන සිදු කරන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික කමිටුව රැස් වී මෙම විමර්ශනයට අවශ්‍ය දත්ත පිටපත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, මෙලෙස දත්ත පිටපත් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එම පිටපත් ලබාගෙන විශ්ලේෂණය කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ සර්වර් පරිගණකය තුළ තිබූ දත්ත විශ්ලේෂණය කරමින් පවතින බව සඳහන් කළා.

ඊට අමතරව, මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත්, මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව යන ආයතනවල නිලධාරීන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි අධිකරණයට යොමු කළ වාර්තාවේ සඳහන් වී ඇත්තේ.