සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත වී තිබෙනවා.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වූ අතර, සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026 ජූලි 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කර තිබුණා.
මෙම පනත් කෙටුම්පත මඟින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය සඳහා පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන, තවත් සත්ත්ව වර්ග කිහිපයක් සඳහා ද පුළුල් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඉදිරියේදී ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යය වන අතර, සතුන්ගෙන් මිනිසුන්ට බෝ විය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් පුළුල් කිරීම අරමුණු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



