ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස සැඟවෙමින්, මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් සිදුකරන මෙවැනි සදොස් සහ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව සඳහන් කරන නීතිඥ සංගමය, මෙවැනි බාල දේශපාලන ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකීය නීතිඥ ප්‍රජාව නොසැලෙන බවත්, සිය ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ලවන ඕනෑම අභියෝගයකට එක්සත්ව මුහුණ දෙන බවත් අවධාරණය කර සිටිනවා.
පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණයෙන් මිදී එකී ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටත දී නැවත සිදු කරන ලෙසට අදාළ මන්ත්‍රීවරයාට අභියෝග කරන බවත්, එසේ කළහොත් ඊට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බවත් නීතිඥ සංගමය අවධාරණය කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණවලට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිසිවිටෙකත් තාවකාලික අවශ්‍යතාවන්ට අනුව හෝ තදබල ආයතනික අවශ්‍යතාවයක්, පාරදෘශ්‍ය මහජන සාධාරණීකරණයක් සහ පුළුල් පාර්ශ්වකරුවන්ගේ මනා සාකච්ඡාවකින් තොරව හදිසියේ සිදු නොකළ යුතු බවට තදින්ම විශ්වාස කරන බවයි අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ සංගමය පවසා සිටියේ.
නීතිඥ සංගමය කිසිවිටෙකත් දේශපාලනයක් සිදු නොකරන බවයි නීතිඥ සංගමය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඊයේ දිනයේ පාර්ලිමේන්තු විවාදය අතරතුරදී කතා කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ චෝදනා කර සිටියා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාතේ මහ ඇමති අපේක්ෂකත්වය රජීව් අමරසූරිය සභාපතිවරයාට ලබා දීමට විපක්ෂ නායකවරයා එකඟ වී ඇති බවත්, තමාට සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඔහුට පවසා ඇති බවයි මන්ත්‍රී අසිත නිරෝෂණ එහිදී පවසා සිටියේ.



