නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා පොලීසිය පසුගිය ජූලි 09 වැනිදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය පවසනවා.
ඒ අනුව, නිසි මාර්ගෝපදේශවලින් තොරව නිකුත් කර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් ග්‍රාමීය ජනතාව දැඩි හිරිහැරයට හා බියගැන්වීමට ලක්වීමේ අවදානමක් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ.
එක්සත් රාජධානියේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ (Report of Independent Inquiry) එන 'පොදු අරමුණු පිළිබඳ ප්‍රකාශයට' (Statement of Common Purpose) අනුව පොලීසියේ ප්‍රධාන කාර්යය වන්නේ නීතිය හා සාමය සුරැකීම, නීතිවිරෝධී පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම සහ සාමය පවත්වාගෙන යාම බවත්, පොලීසියේ ඉහත නිවේදනය මඟින් එකී මූලධර්මය උල්ලංඝනය වන බවත් අදාළ නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.
පැහැදිලි නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව උපයාගත් වත්කම් මොනවාදැයි තීරණය කිරීමට භාවිත කළ හැකි නිශ්චිත ක්‍රියාපටිපාටියක් නොමැති අතර, මෙය මහජනතාව හිරිහැරයට ලක් කිරීමේ මෙවලමක් විය හැකි බවයි එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.




