වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබෙනවා.
ඒ අනුව, පසුගිය ජූලි 07 වැනිදා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා එහි ගොස් ඇති නමුත්, බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඔවුන්ට අවසර ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.
පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම අවස්ථාවක රැඳවුම් භාරයේ පසුවන ස්ථාන වෙත ඇතුළු වීමට 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින් කොමිසමට බලය පවරා ඇති නමුත්, බන්ධනාගාර බලධාරීන් විසින් එය මෙලෙස උල්ලංඝනය කර ඇති බවයි කොමිසම පෙන්වා දෙන්නේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වැනිදා පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේ බන්ධනාගාරය තුළ පැවැති අස්ථාවර ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරීන්ට ඇතුළු වීමට අවසර නොදුන් බවයි.
එම අවස්ථාවේ පැවැති සැබෑ තත්ත්වය කොමිසමේ නිලධාරීන්ට නිසි ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව බන්ධනාගාර බලධාරීන් එහි දී කනගාටුව පළ කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් ලබාදුන් මෙම පැහැදිලි කිරීම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබෙනවා.






