Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුළ සම්පූර්ණයෙන් අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ගැටඹේ හන්දිය ගුවන් පාලම, මහයියාව යටිබිම් උමං මඟ, විලියම් ගොපල්ලව මාර්ගය සහ ලුවී පීරිස් මාර්ගය යන ව්‍යාපෘති උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම යටතේ කඩිනම් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ප්‍රගතිය සොයා බැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂාවක් ඊයේ (15) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

මහනුවර නගරයේ දෛනිකව පවතින අධික රථවාහන තදබදයට විසඳුම් වශයෙන් මංතීරු හතරක් ලෙස පුළුල් කර සංවර්ධනය කෙරෙන විලියම් ගොපල්ලව මාර්ගයේ සංවර්ධන කටයුතු ද අමාත්‍යවරුන්ගේ සොයා බැලීමට ලක් කෙරුණු අතර, මෙම මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 675 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මහනුවර - බූවැලිකඩ - අම්පිටිය නගර සම්බන්ධ කෙරෙන ලුවී පීරිස් මාර්ගය ද ද්විත්ව මංතීරු සහ දෙපස පදික මංතීරු සහිත ව වැඩිදියුණු කර සංවර්ධනය කෙරෙන අතර මහනුවර - යාපනය (A-009) ප්‍රධාන මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සලසමින් ඉදිකෙරෙන මහයියාව උමං මාර්ගයේ සංවර්ධන කටයුතු ද අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.