සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව ඇති, මෝටර් රථයක් ගිනි ගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ වීඩියෝව සමඟ සංසරණය වන හඬ පට මඟින් එම දරුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බවට අඟවා තිබුණ ද, විමර්ශනවලදී ඒ සඳහා කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ගිනි ගැනීම සිදුව ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් විදුහල් භූමියක වන අතර, පසුගිය 03 වැනිදා මෙම සිදුවීම සිදු ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම ගිනි තැබීමට, වයස අවුරුදු 08 ක පමණ කුඩා දරුවෙකු වගකිව යුතු බවට පවසමින් කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එහි දී අනාවරණය වී ඇත්තේ වීඩියෝ දර්ශනවල මෝටර් රථය අසලින් ගමන් කරනු ලබන්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සිසුවෙකු බවයි.
කෙසේ වෙතත්, අදාළ දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව ද, මෝටර් රථය ගිනි ගැනීමට ලක් වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් විශේෂඥ සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.
කුරුණෑගල පොලිසිය විසින් මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩ ව සිදු කෙරෙනවා.
අදාළ නිවේදනය පහතින්.




